පිරමීඩ . . .

1
ලොව පුදුම හතෙන් එකක් වන මහා පිරමීඩයත් තවත් පුදුමයක් වන ටජ් මහල් මන්දිරයේ හැඩයත් පිරමීඩාකාර වේ. සමාන පරිවාර පිරමීඩ නවයකින් යුත් මහා පිරමීඩය ආසියා, යුරෝපා, මහාද්වීප 3 ට මැදිව පෘථිවියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ඊජිප්තූවේ කයි‍රෝ නුවර ගීසා හි පිහිටා ඇත. මෙම මහා පිරමීඩයට ආරක්ෂාව සපයමින් මිනිස් හිසක් සහිත සිංහ රුවක් ගලින් නෙලා ඇත. කුමන කරුණක් අරභයා මෙය ඉදි කරනු ලැබුවේද යන්න තවමත් අභිරහසකි.


ඊජිප්තුවේ පිහිටි වෙනත් පිරමීඩ



Step Pyramid of Djoser - පළමු පිරමීඩය

නිර්මාණය - Pharaoh Djoser
කාලය - 2630 B. C. පමණ
ස්ථානය - Saqqara
උස - අඩි 204 (මීටර 62)

මෙහිදී මෙම පුද්ගලයා විසින් බලාපොරොත්තු වී ඇත්තේ තමා මිය ගිය පසු සංරක්ෂණය කරන ලද ශරීරය තැන්පත් කීරීම සඳහා ස්ථානයක් නිර්මාණය කිරීමටය. එකල නිර්මාණය කරන ලද විශාලම ඉදි කිරීම මෙය විය.
___________________________________________________________



Maidum Pyramid 

නිර්මාණය - Pharaoh Snefru
කාලය - 2600 B. C. පමණ
ස්ථානය - Maidum
උස - අඩි 306 (මීටර 92)

පිරමීඩ කිහිපයකම නිර්මාණයේ හිමිකම් දැරූ මෙම පුද්ගලයා විසින් තමන්ගේ නිර්මාණ පිටස්තර අයගෙන් ආරක්ෂා කර ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කර තිබේ. පළමු පිරමීඩයෙන් ආභාෂය ලබා ගෙන ඇති මෙහි පියගැටපෙළ 8 ක් දක්නට ලැබේ. මෙහි විශේෂත්වය වන්නේ පොළවෙන් ඉහළ මට්ටමක පිරමීඩය තුළ තනන ලද භූමදාන කුටීරයක් සහිතව නිර්මාණය කරන ලද පළමු පිරමීඩය මෙය වීමයි. එය පළමු පිය ගැටපෙළ ට ඉහළින් පිහිටයි. වර්තමානයේ මෙහි ඉහළ පියගැටපෙළ 3 ක් පමණක් දක්නට ලැබේ.
___________________________________________________________



Bent Pyramid - පිරමීඩයක ජ්‍යාමිතික හැඩය ලබා ගැනීමට දැරූ පළමු උත්සාහය

නිර්මාණය - Pharaoh Snefru
කාලය - 2600 B. C. පමණ
ස්ථානය - Dahshur
උස - අඩි 344 (මීටර 105)

මෙය නිර්මාණය කොට තිබෙන්නේ අධික බෑවුමක් ඇති වන පරිද්දෙනි. නමුත් මෙහි ස්ථාවරත්වය පිළිබඳ ගැටළු මතු වෙත්ම ඔවුන් විසින් මෙහි ආනතිය වෙනස් කොට ඇත. එය රූපයේ පැහැදිලිව පෙන්වා ඇත. මෙහි වූ අවලක්ෂණ පෙනුම නිසා මෙය නිර්මාණය කළ පසු හදිසියේම ඔහු එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව පොත පතේ සඳහන් වේ.

__________________________________________________________



Red Pyramid 

නිර්මාණය - Pharaoh Snefru
කාලය - 2600 B. C. පමණ
ස්ථානය - Dahshur
උස - අඩි 341 (මීටර 104)

නිර්මාණකරුවාගේ තෙවන නිර්මාණය වන මෙය මගින් පිරමීඩයේ ආනතිය හා ඒවායේ පෘෂ්ට වල ස්වාභාවය නිවැරදිව කිරීමට ඔහු දැරූ තෙවන උත්සාහයද මෙය වේ. මෙමගින් ලැබූ ආභාෂය ගීසාහි පිරමීඩ නිර්මාණය දක්වාම විහිදේ. මෙහි ව්‍යුහයේ එක් භූමදාන කුටීරයක් පමණක් අඩංගු වන අතර තවත් කුඩා කුටීර 2 ක් ද අන්තර්ගත වේ. නිර්මාණකරුවාගේ දේහය මෙහි තැන්පත් කොට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔහු මිය යාමෙන් අනතුරුව ඔහුගේ පුත්‍රයා විසින් මෙහි අවසන් වැඩ කටයුතු මෙහෙයවා ඇත.








___________________________________________________________



Great Pyramid - ලොව විශාලතම පිරමීඩය

නිර්මාණය - Pharaoh Khufu
කාලය - 2550 B. C. පමණ
ස්ථානය - Giza
උස - අඩි 481 (මීටර 147)

Snefru ගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් Khufu (4 වන රාජ වංශයේ 2 වන පාලකයා) විසින් මෙම රාජ්‍ය සුසාන භූමි සංකල්පය ඊජිප්තුවේ ගීසා වෙත ගෙන යන ලදී. මොහු විසින් තම රාජ්‍යෙය් වැසියන් වහලුන් බවට පත් කොට පිරමීඩය නිර්මාණය කිරීමට යොදා ගත් බව ඉතිහාසඥයින්ගේ මතය වී තිබේ. ගීසා උස් බිමේ පිහිටි මෙහි ගල් කුට්ටි මිලියන 2.3 ක් පමණ අන්තර්ගත වන අතර එක් ගල් කුට්ටියක බර ටොන් 2.5 - 15 ත් අතර වේ. නිමාණය කරන ලද පරිදි මෙම ගල් කුට්ටි නියමිත පරිදි ස්ථානගත කිරීමට මොවුන්ට වැයවී ඇත්තේ එක් ගල් කුට්ටියකට මිනිත්තු 2.5 වැනි සුළු කාලයකි. මෙම පිරමීඩය තවත් කුඩා පිරමීඩ කිහිපයක් සමඟ ගීසාහි බලය පෙන්වමින් තවමත් රැඳී පවතී.
___________________________________________________________



Pyramid of Khafre - ස්පිනික්ස් ප්‍රතිමාව අසල පිහිටි පිරමීඩය

නිර්මාණය - Pharaoh Khafre
කාලය - 2520 B. C. පමණ
ස්ථානය - Giza
උස - අඩි 471 (මීටර 144)

Khufu ගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් Khafre විසින් ඔහුගේ රාජ්‍ය සුසාන භූමිය ඉදිකරන ලද්දේ මනරම් වූ වටපිටාවක්ද සමඟිනි.පිරමීඩයෙන් පිටත පාරාවන් ගේ මෘත ශරීර තැන්පත් කර නිර්මාණය කරන ලද පූජ්‍ය ස්ථානයක් පිහිටා ඇත. විශාල ස්ථම්භ වලින් යුතු අංගනයක්, විශාල පිවිසුම් ශාලාවක්, රාජකීයන්ගේ ප්‍රතිමාවන් ඉන් කිහිපයකි. ස්පිනික්ස් ප්‍රතිමාව මෙම ප්‍රතිමා අතර සුවිශේෂි තැනක් ගනී. පිහිටි ගලක නිර්මාණය කොට ඇති මෙය මගින් පාරාවෝ නිරූපණය වන බව ද පැවසේ. මිනිස් මුහුණක් ඇති සිංහයෙකුගේ ස්වරූපයක් පෙවන්වන මෙහි හිසේ පළඳවා ඇත්තේ පාරාවන් ට පමණක් සුවිශේෂ වූ සිරස්පතකි. 4 වන රාජ වංශයේ 3 වන පාලකයා වූ Khafre ව Horus දෙවියන් ලෙසද එකල සලකා ඇත.
___________________________________________________________




Pyramid of Menkaure - විශාල පිරමීඩ තැනීමේ අවසානය

නිර්මාණය - Pharaoh Menkaure
කාලය - 2490 B. C. පමණ
ස්ථානය - Giza
උස - අඩි 213 (මීටර 65)

Khufu ගෙන් පසු කරලියට පැමිණි Menkaure විසින් නිර්මාණය කරන ලද මෙය රෙ පිරමීඩයට වඩා විසිතුරු වුවද ප්‍රමාණයෙන් කුඩා එකක් විය. කුමන හේතුවක් නිසා හෝ මින් පසු නිර්මාණය  වූ පිරමීඩ පෙර ඒවාට වඩා කුඩා විය. 4 වන රාජ වංශයේ 6 වන පාලකයා වූ මොහු විසින් නිර්මාණය කරවන ලද මෙය පෙර පිරමීඩයෙන් 10 න් එකක ප්‍රමාණයෙන් යුක්ත වේ. මෙහි නිමාව උසස් කිරීම පිණිස මොහු විසින් පිටත බිත්ති සෑදීමට හුණු ගල් භාවිතා කොට ඇත. පහළ ස්ථර කළු ගල් වලින් ආවරණය කර ඇති අතර භූමදාන කුටීරයද කළු ගල් වලින් නිමවා ඇත්තේ ඒවා යේ හැසිරවීම අපහසු බවද මඟහරවා ගමිනි. ඔහුගේ හදිසි අභාවයෙන් පසු පිරමීඩ සංකීර්ණය නිම කොට ඇත්තේ මැටි ගඩොලෙනි. 
___________________________________________________________


Pyramid of Pepi II - පිරමීඩ යුගයේ අවසානය

නිර්මාණය - Pharaoh Pepi II
කාලය - 2250 B. C. පමණ
ස්ථානය - Saqqara
උස - අඩි 172 (මීටර 52)

Menkaure ගෙන් පසු වයස අවුරුදු 6 දී සිහසුන උරුම වූ 6 වන රාජවංශයේ 2 වන පාලකයා බවට පත්වූ Pepi II විසින් මෙය නිර්මාණය කර තිබේ. පිරමීඩය තුල වූ කළු ගලින් නිර්මාණය කරන ලද කුටීරයක ඔහුගේ මෘත ශරීරය තැන්පත් කොට ඇත. පිරමීඩයේ බිත්ති මත සායම් කරන ලද අක්ෂර හා විවිධ රූප සටහන් මගින් ඔවුන්ගේ රාජ්‍යෙය් දියුණුව පෙන්වා ඇත. මෙම කාලය තුල විදේශ ආක්‍රමණ හේතුවෙන් වඩාත් පිරිහීමට ලක්වූ මෙම යුගයේ ඔහුගේ පාලන කාලය වසර 60-90 ත් අතර වූ බව පැවසේ.




විශාලතම පිරමීඩය

පිරමීඩ ලෝකයේ තවත් රටවල ඇතත් වඩාත්ම ප‍්‍රසිද්ධම සහ විශාලතම පිරමීඩ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 10 ක් පමණ බටහිරෙන් ඇති ගීසා තැනිතලාවේය. මෙහි ඇති පිරමීඩ අතුරින් ද වඩාත් විශාලම සහ ජ්‍යාමිතිකානුකූලව නිවැරදි හා අංගසම්පූර්ණව නිම කර ඇති පිරමීඩය වශයෙන් සැලකෙන්නේ චිඔප්ස් (Cheops) නැමැති පිරමීඩයයි. මෙම පිරමීඩයය අක්කර 13 ක වපසරයක පිහිටා ඇති අතර මෙහි උස අඩි 450 ක් පමණ වේ.

චිඔප්ස් (Cheops) පිරමීඩය නිමාවී ඇත්තේ ඔපමට්ටම් කරන ලද හුණු ගල් වලිනි. විවිධ ප‍්‍රමාණයන් ගෙන් ඇති මෙම පාෂාණ බරින් ටොන් 2 ත් 70 ත් අතර ඒවා විය. මෙවැනි ගල් 260000 කට වැඩි ප‍්‍රමාණයක් භාවිතා කොට මෙම පිරමීඩය නිර්මාණය කොට ඇත. මෙම පිරමීඩය නිර්මාණය කිරීමේදී සුවිශේෂි කරුණක් ලෙස පාෂාණ 2 ක් අතර පරතරය අඟලකින් 1/5 කටත් වඩා අඩු ලෙස නිර්මාණය කර තිබීම දැක්විය හැක. එකල ගෘහ නිර්මාණ ශිල්පය ඉහල මට්ටමක පැවතුණු බවට මෙම කරුණ ප‍්‍රභල සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක.

පිරමීඩ සොයා ගැනීම

පිරමීඩ ඓතිහාසික වටිනාකමකින් යුතු අපූර්ව වූ ඉදිකිරීමක් ලෙස ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියද එහි අන්තර්ගතය පිළිබඳ ප‍්‍රමාණවත් ගවේෂණයක් සිදු නොකෙරුණි. පසු කාලීනව විටින් විට ශතවර්ෂ ගණනක් තිස්සේ ගවේශණය නොවුනු මෙම පිරමීඩ විවෘත කිරීමට විවිධ පුද්ගලයන් ගත් උත්සාහයන් අසාර්ථක විය. අවසානයේදී අල් මමුම් (Al Mamum) නැමැති ගවේශකයෙකු පිරමීඩයේ එක් ස්ථානයක් තෝරාගෙන එම තැනෙහි ඇති පාෂාණයක් තාපදීප්ත වන තෙක් රත් කොට එයට එකවරම සිසිල් විනාකිරි වත් කිරීම තුළින් එය පුපුරවා හැර මහා පිරමීඩය තුලට ඇතුල් වී ඇත. ඉන්පසුව 16-17 ශතවර්ෂ වලදී මෙම මහා පිරමීඩය තුළට ඇතුල් වූ බොහොමයක් ගවේශකයන් එහි අභ්‍යන්තර පිහිටීම විස්තර කර ඇත. ලෝකයේ පොදු මතය බවට එතෙක් පත්ව තිබූ පිරමීඩ වනාහී රජවරුන්ගේ සොහොන් ගැබ් බවට වූ මතය බිඳ වැටුණි. මෙයට හේතුව වූයේ ගවේශකයන් සිදු කළ ගවේශණ වලදී පිරමීඩ තුළින් කිසිඳු මමියක් හමු නොවීමයි. (නමුත් පසු කාලීනව පිරමීඩ තුළින් මමි සොයා ගෙන ඇත.)

මෙම පිරමීඩය තුළ වූයේ කිසිඳු කැටයමක් හෝ කිසිඳු සංඛේතයක් නොමැති පෘෂ්ටයක් ඇති පියනක් හෝ නොමැති ගලින් නිමවුනු හිස් පෙට්ටියකි. මෙය ගවේශකයන්ට හමු වී ඇත්තේ රජතුමාගේ කාමරය  (King's Chamber) නමින් හඳුන්වන කොටස තුළදීය. මෙම පෙට්ටිය කොෆර් (Coffer) නමින් හඳුන්වනු ලැබේ. සුවිශේෂී දෑ ඇතැයි බලාපොරොත්තු ඇතිව පිරමීඩයට ඇතුළු වූ ගවේශකයන්ගේ කුතුහලය වැඩි වූයේ කිසිඳු වටිනාකමක් ඇති දෙයක් එතුල නොවූ හෙයින් ලෝකයේ ගවේශකයන් පිරමීඩ පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූහ.

පිරමීඩ නිර්මාණය

පිරමීඩ පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයනයන් කිරීමේ අරමුණින් පිහිටුවන ලද The Great Pyramid of Gizah Research Association නමින් හඳුන්වනු ලබන ලොව පුරා 5000 කට වැඩි සාමාජිකත්වයකින් යුතු සංවිධානය විසින් පිරමීඩ පිළිබඳව නවතම සොයාගැනීම් ඉදිරිපත් කර ඇත. මෙම සංවිධානය විසින් කරන ලද ගවේෂණයන්ට අනුව ඔවුන් ප‍්‍රකාශ කරන්නේ, පිරමීඩ ඊජිප්තු ජාතිකයන් නිර්මාණය කරන ලද නිර්මාණයක් නොවන බවයි. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව ඊජිප්තුව පාලනය කළ රජවරුන්ගේ නම් එම පිරමීඩ වලට ආදේශ කර ඇති බව එම සංවිධානයේ නිගමනයයි. මීට වසර 10000 කට වඩා පැරණි වූ ප‍්‍රාග් ඓතිහාසික කාලවකවානුවක් කරා මෙම සංවිධානයේ ගවේෂණයන් පැතිර ගොස් ඇත. ඊජිප්තු ජාතිකයන් විසින් නොව එම කාල වකවානුවේදී ඊජිප්තුවේ වාසය කළ කෙමිටියන් (Kemitian) නම් වූ ඉතාමත් දියුණු මිනිස් කොට්ඨාශයක් විසින් ලොව පුදුම 7 න් එකක් වන මෙම විශ්ම්ත ඉදිකිරීම කර ඇති බවට ඔවුන් ප‍්‍රකාශ කර ඇත.
    කෙම්ටියන් වරු අනෙකුත් ග‍්‍රහලෝක හා සම්බන්ධ වී සිටි බවට ඔවුන්ගේ න්‍යායාත්මක දැනුම භාවිතා කළ තාක්ෂණය හා උපකරණ මගින් සනාථ වේ. ඊජිප්තු වැසියන් හෝ ලෝකයේ වෙනත් කිසිඳු ශිෂ්ටාචාරයක මෙවැනි දියුණු තාක්ෂණයක් නොතිබුණු බවද මෙම සංවිධානයේ මතය විය. පිරමීඩ ඉදිකිරීම සඳහා භාවිතා කළ ටොන් ගණන් බරැති ගල් එසවීමේදී ගුරුත්වාකර්ෂණය වැලැක්වීම සඳහා ජලය හා ශබ්ද තරංග භාවිතා කර ඇති බවට ප‍්‍රකාශ වේ. සූක්‍ෂම නිරවද්‍යතාවයකින් මෙම සුව්සල් පාෂාණ කැපීමටද මෙම මාධ්‍යයන් 2 භාවිතා කර ඇත.
    බාහිර ග‍්‍රහවස්තුවක සිට වුවද පිරමීඩ මතට වැටෙන ආලෝකය (සඳ වැනි) පරාවර්තනය කිරීමේ හැකියාව ඇති වන පරිද්දෙන් පිරමීඩය මතුපිට ඇති පාෂාණ දර්පණ ලෙස ක‍්‍රියාත්මක වන තරමටම එම පාෂාණ සුමට විය. නමුත් පසු කාලයේදී මෙම සුමට පෘෂ්ටයන් පල්ලි ඉදිකිරීම සඳහා විවිධ රජවරුන් විසින් භාවිතා කරන ලදී. එම නිසා වර්තමානයේදී පිරමීඩ වල දක්නට ඇත්තේ පඩි සහිත මතු පිටකි. 
පිරමීඩයක අභ්‍යන්තර කොටස්



පිරමීඩ යනු කුමක්ද ?

පිරමීඩ යනු ත‍්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස‍්‍රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි. ඊජිප්තුව සම්බන්ධව බලන කළ මෙවැනි පිරමීඩ ඉතා විශාල ඒවාය. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුදු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල  පිරමීඩය. ඔවුන් තැනූ පිරමීඩ ප‍්‍රමාණය 90 කටත් වඩා වැඩිය. ඒවා රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස තැනූ ඒවාය. නමුත් ඔවුන් වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසද සමහර අවස්ථා වලදී පිරමීඩ යොදා ගැනුණි.

රටේ පාලකයා මිය ගිය පසු ඔහුගේ මෘත ශරීරය ඉතා පරෙස්සමින් පිළියෙල කොට රෙදි වලින් ඔතා එය මමියක් ලෙස සංරක්ෂණය කොට පිරමීඩ තුළ තැන්පත් කරන ලදී. පුරාණ ඊජිප්තු වැසියන්ගේ මතයට අනුව  මමියක් තැන්පත් කර ඇති පිරමීඩය මගින් මිය ගිය අධිරාජ්‍යයාට මරණින් මතු ජීවිතය සඳහා පහසුකම් සපයයි. එම නිසා එකල පූජකවරුන් විවිධ පූජාවන්  මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගත්හ. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගත්හ.